පුංචි දරුවෝ අපයෝජනය වෙන එක, දැන් ලංකාවේ, නිතර අහන්න ලැබෙන දෙයක් බවට පත්වෙලා.
දරුවන්ව මේකෙන් බේරගන්න නම්, දරුවෙක් අපයෝජනය වෙනවා කියලා අඳුර ගන්න විදිය, අපි හැමෝම දැනගෙන ඉන්න ඕනි !
දරුවෙක් ශාරීරිකව, මානසිකව, ලිංගිකව වගේම තවත් විධි ගණනාවකට අපයෝජනය වෙන්න පුළුවන්. දරුවෙක්ට අවශ්‍ය රැකවරණය නොදී, නොසළකා හැරීමත්, ළමා අපයෝජනයේම කොටසක්.
ගොඩක් වෙලාවට ළමයෙක් අපයෝජනයට ලක්වෙන්නේ, ළමයාට ළඟින් මෙන්ම පවුලේ අය සහ භාරකාරයින් අතිනුයි. නමුත් දෙමව්පියන්ගේ කාර්යබහුල බව නිසා, ළමයින්ව වෙන නෑදෑයින්ට හෝ servants ලට බලාගන්න දීලා ගියාම, ඔවුන් අතිනුත් ළමයාව අපයෝජනය වෙන්න පුළුවන්.
ළමයෙක්ට කවුරුහරි ශාරීරික වද හිංසා කරනවා කියලා, ඔබ අඳුරගන්නේ කොහොමද ?
ළමයාට අතින් පයින් හෝ, වේවැල්, පොලු වගේ උපකරණ වලින් පහර දුන්නොත්, දරුවගේ හමේ තැලුම් තුවාල ඇතිවෙනවා. දරුවගේ හමේ ඇඟිලි තුඩු පාරවල්, ඒවගේම දණ්ඩකින් වගේ පහර දුන්නොත් සමාන්තර තැලුම් පාරවල් ඇතිවෙන්න පුළුවන්.
සාමාන්‍යයෙන් active, දුවන පනින ළමයෙක් නම්, බිම වැටිලා තැලුම් තුවාල ඇතිවෙන්න පුළුවන්. හැබැයි එහෙම අනතුරු වලින් වෙන තුවාල තියෙන්නේ, දණහිස වැලමිටි වගේ තැන්වලයි.
ළමයාගේ තට්ටම් ප්‍රදේශයේ හරි, කලවයේ ඇතුල් පැත්තේ හෝ එළිය පැත්තේ හරි, ලිංගික අවයව වල හරි තැලුම් තුවාල තියෙනවා නම්, ඒවා සමහරවිට ශාරීරික වධ හිංසා නිසා ඇති වූ ඒවා වෙන්න පුළුවන්.
ඒ වගේම එක එක මට්ටම්වලින් සනීප වුණු තැලුම් තුවාල ගොඩක් තියෙනවා නම්, දරුවා කාලයක් තිස්සේ ශාරීරික වධ හිංසාවලට ලක්වෙලා තිබීමේ ඉඩක් තියෙනවා.
ඒ වගේම බබාගේ හමේ රවුම් කුඩා පිළිස්සුම් තුවාල තියෙනවා නම්, ඒවා සිගරට් එකකින් බබාව පිච්චීමෙන් ඇතිවුණු ඒවා වෙන්න ඉඩ තියෙනවා.
බබාගේ තට්ටම් ප්‍රදේශය හෝ කකුල් මේ විදියට පිච්චිලානම්, ඒ පිළිසුම් බබාව උණුවතුරේ ගිල්වීම නිසා වුණා වෙන්න පුළුවන්.
මීට අමතරව ශාරීරික වධ හිංසාවලින්, අස්ථි බිඳීම්, මොළයට, ඇසට සහ අභ්‍යන්තර අවයව වලට හානිවීම් සිද්ධ වෙන්න පුළුවන්.
දරුවෙක්ව ලිංගිකව අපයෝජනය වීම ක්‍රම කීපයකට සිද්ධ වෙන්න පුළුවන්
අවුරුදු 16ට අඩු දරුවන් සමග දරුවාගේ කැමැත්ත ඇතුව හෝ නැතුව ලිංගිකව එකතුවීම, ලංකාවේ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය විදියට හඳුන්වනවා. මේක අවුරුදු 15 කට නොඅඩු සිරදඬුවමක් ලැබෙන වරදක්.
මීට අමතරව මෑත කාලයේදී නිතර අහන්න ලැබෙන දෙයක් තමයි, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පුංචි දරුවන්ව ලිංගික ක්‍රියාකාරකම් වලට හුරු කරවීම. ( online grooming )
ලිංගික අතවරයක් සිදුවුණු දරුවෙක්ගේ ලිංගික අවයව වලින් ලේ ගැලීමක් කැසීමක් හෝ දියර ගැලීමක් සිදුවෙන්න පුළුවන්.
ඒ වගේම දරුවා අනෙක් අයගෙන් වෙන්වෙලා තනියෙන් සිටීම, හැඟීමකින් තොරවීම, බය වෙලා සිටීම හෝ දරුණු ගති ලක්ෂණ පෙන්වීම, රෑට නින්දෙන් මුත්‍රා පිටවීම, ඉගෙන ගන්න වැඩ අඩාල වීම, වයසට වඩා matured ගතියක් පෙන්වීම වෙන්න පුළුවන්.
අපි මේ කතා කරපු ප්‍රධාන ක්‍රම ඇරුණම තවත් විධි ගණනාවකට දරුවන් අපයෝජනය වෙන්න පුළුවන්. ළමා මෙහෙකාර සේවය, ළමයින් සිඟමනේ යෙදවීම, ළමයින් ලවා මත්ද්‍රව්‍ය බෙදාහැරීම එයින් කිහිපයක් පමණයි.
ලංකාවෙ මේ හැමදේකටම විරුද්ධව නීති තිබුණත්, තවමත් මේ හැම දෙයක්ම ලංකාව ඇතුලෙ සිද්ධ වෙනවා. උදාහරණයකට ලංකාවේ වයස 16 ට අඩු ළමයින් මෙහෙකාර සේවයට යෙදවීම නීතියෙන් තහනම් වුණත්, ඒ දේ සිද්ධ වෙනවා ඔබ දැකලා ඇති.
ළමයින්ට මේ විදිහට සිද්ධවෙන අපයෝජන, ඔවුන්ට දරුණු විදියට මුළු ජීවිත කාලය පුරාවටම බළපානවා. ළමයින්ගේ මානසිකත්වයට මුළු ජීවිත කාලයටම හානි වෙනවා විතරක් නෙමෙයි, දරුවන්ගේ ශාරීරික වර්ධනයට පවා මේකෙන් බළපෑමක් තියෙනවා. ඒවගේම පොඩි කාලේ අපයෝජනයට ලක්වුණු අය, වැඩිහිටියන් වුණාට පස්සේ,ඔවුනුත් ළමයින්ව අපයෝජනය කිරීමේ අවදානමක් තියෙනවා.
මේ නිසා ළමා අපයෝජනය කියන්නේ, අපේ මේ මුළු සමාජයම මහා අනාරක්ෂිත තැනකට තල්ලු කරල දාන්න පුළුවන් දෙයක්. අපි හැමෝම එකතුවෙලා මේක වළක්වා ගත යුතුයි.
අපි කතා කරපු කොයි ආකාරයකින් හෝ දරුවෙක් අපයෝජනය වෙන බව ඔබ දන්නවා නම්, ඔබට ජාතික ළමාරක්ෂණ අධිකාරියේ අංකයලමා උපකාරක සේවය වන 1929 අංකයට ඒ බව දැනුම් දෙන්න පුළුවන්. දැනුම් දෙන ඔබගේ පෞද්ගලිකත්වය සුරැකෙන විදියටත්, දරුවාට ප්‍රශ්නයක් නොවෙන විදියටත්, ළමාරක්ෂණ අධිකාරිය මඟින් අවශ්‍ය ඉදිරි පියවර ගන්නවා.
ඔබ දෙමව්පියෙක් නම්, ඔබේ දරුවා අපයෝජනයට ලක්වුණු බවට සැකයක් තියෙනවා නම්, ළඟම රජයේ රෝහලේ ළමා වාට්ටුවට දරුවා අරගෙන එන්න.විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් දරුවාට අවශ්‍ය ප්‍රතිකාර සහ ඉදිරි ක්‍රියාමාර්ග සිදුකරනවා.
අහිංසඅක මල් කැකුළු අකාලේ මිලින වෙන්න නොදී, මේ ගැන හැමෝවම දැනුවත් කරලා, ළමා අපයෝජනයෙන් තොර ලංකාවක් බිහි කරන එක ඔබේ වගකීමක්.

