රුබෙල්ලා එන්නත මේ තරම් වැදගත්ද?


දරුවෙකු හදන්න උත්සාහ කරන්න කලින්, රුබෙල්ලා එන්නත අරගෙන ඉන්න ඕනේ කියලා ඔයා දැනගෙන හිටියද ? මේ ලිපියෙන් ඔබ ඉගෙන ගන්න දේවල්, ඉදිරි දවසක ඔබේ බිළිඳාට, බරපතල උපත් ආබාධ ඇතිවීම වළක්වා ගන්න, උදව් වේවි. රුබෙල්ලා රෝගය, එහෙමත් නැත්නම් ජර්මන් සරම්ප රෝගය, ආසාදිත පුද්ගලයින්ගේ ශ්වසන බිඳිති වලින් බෝවෙන වෛරස් රෝගයක්. ගර්භණී කාන්තාවන්ට, රුබෙල්ලා රෝගය වැළඳීම වළක්වා ගැනීම […]

දරුවෙකු හදන්න උත්සාහ කරන්න කලින්, රුබෙල්ලා එන්නත අරගෙන ඉන්න ඕනේ කියලා ඔයා දැනගෙන හිටියද ? මේ ලිපියෙන් ඔබ ඉගෙන ගන්න දේවල්, ඉදිරි දවසක ඔබේ බිළිඳාට, බරපතල උපත් ආබාධ ඇතිවීම වළක්වා ගන්න, උදව් වේවි.

රුබෙල්ලා රෝගය, එහෙමත් නැත්නම් ජර්මන් සරම්ප රෝගය, ආසාදිත පුද්ගලයින්ගේ ශ්වසන බිඳිති වලින් බෝවෙන වෛරස් රෝගයක්.

ගර්භණී කාන්තාවන්ට, රුබෙල්ලා රෝගය වැළඳීම වළක්වා ගැනීම ඉතාම වැදගත්. හේතුව තමයි, ගර්භණී කාලයේ පළවෙනි මාස කීපය තුළ රුබෙල්ලා රෝගය වැළඳුණොත්,

  • ගබ්සා වීමක් හෝ මළදරු උපතක් ඇතිවීමේ අවදානමක්,
  • රුබෙල්ලා රෝගය ඇති දරුවකු ඉපදීමේ 90%ක අවදානමක්, තිබෙනවා.

ගර්භණී මවගෙන් රුබෙල්ලා රෝගය වැළඳුණු දරුවන්ගේ, මොළය, හදවත, ඇස් හා කන් වැනි බොහෝ අවයව වලට හානිකර බලපෑම් ඇති වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ඒ දරුවන්ට,

  • ඇස් නොපෙනීම, කන් නොඇසීම, ඇසේ සුද ඇතිවීම
  • හදවතේ ආබාධ තත්ත්ව
  • ඉගෙනීමේ අපහසුතා, බුද්ධිය අඩුවීම ඇතිවෙන්න පුළුවන්.

මේ විදියේ භයානක ඉරණමක් අත් වීමෙන්, ඔබේ බිළිඳාව බේරා ගන්න නම්, ගැබ් ගැනීමට උත්සාහ කිරීමට කලින්, රුබෙල්ලා එන්නත ලබා ගැනීම සිදුකළ යුතුයි.

රුබෙල්ලා රෝගය වළක්වා ගැනීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ, සියලුම දරුවන්ට MMR එන්නත, මාත්‍රා දෙකකින්, මාස 9 දී සහ අවුරුදු 3 දී ලබා දෙනවා.

රුබෙල්ලා එන්නතේ එක් මාත්‍රාවක්වත් ලබාගෙන නැත්නම්, අවුරුදු 13ට වැඩි ඕනෑම අයෙකුට, MMR එන්නතෙන්, එක් මාත්‍රාවක් ලබාගන්න පුළුවන්.

දරුවෙකු හදන්න හිතාගෙන ඉන්න කාන්තාවක්, කුඩා කාලයේදී MMR එන්නත් මාත්‍රා දෙක ලබාගෙන නැත්නම්, දරුවෙකු හැදීමට උත්සාහ කරන්න මාස 3කටවත් කලින්, අමතර රුබෙල්ලා එන්නත් මාත්‍රාව ලබා ගැනීම ඉතා වැදගත්.

ගැබ් ගැනීමට මාස 3කටවත් කළින් ගන්න කියන්න හේතුව, එන්නත ගර්භණී කාලයේදී ලබා දුන්නොත්, දරුවාට උපත් ආබාධ ඇතිවිය හැකි නිසා සහ ගර්භණී කාලයේදී ඔබේ ප්‍රතිශක්තිකරණය අඩු වෙන නිසයි. මේ නිසා ඔබ ගැබ් ගත්තාට පසුව රුබෙල්ලා එන්නත ලබා ගැනීමට හැකියාවක් නැහැ.

ඒ වගේම ඔබට ගර්භණී කාලයේදී, රුබෙල්ලා රෝගය වැළඳුණොත්, දරු ගැබට සිදුවිය හැකි හානි වළක්වා ගැනීමට හෝ, සුව කිරීමට පුළුවන් ප්‍රතිකාර ක්‍රමයක් නැහැ.

ඒ නිසා, රුබෙල්ලා එන්නත නිවැරදිව අරගෙන, රෝගය වළක්වා ගැනීම ඉතාම වැදගත්.

More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way
menu