ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීම් ගැන ඉගෙනගනිමු


ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීම් ගැන රෝග ලක්ෂණ දැන සිටීමෙන්, ජීවිතයක් බේරා ගැනීමට හැකි බව ඔබ දන්නවාද? ඔබේ මාසික ඔසප් වීම ප්‍රමාද වෙලා තිබෙන කාල සීමාවක, යටි බඩේ දරුණු වේදනාවක් සමඟ, කලාන්ත ගතියක් හෝ සිහි නැති වීමක් වුණොත්, වහාම රෝහලක් වෙත යන්න, මොකද ඔබට ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීමක් සිදුවී තිබෙන්න පුළුවන් ! මේ තත්ත්වය ඉක්මනින් වෛද්‍ය […]

ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීම් ගැන රෝග ලක්ෂණ දැන සිටීමෙන්, ජීවිතයක් බේරා ගැනීමට හැකි බව ඔබ දන්නවාද?

ඔබේ මාසික ඔසප් වීම ප්‍රමාද වෙලා තිබෙන කාල සීමාවක, යටි බඩේ දරුණු වේදනාවක් සමඟ, කලාන්ත ගතියක් හෝ සිහි නැති වීමක් වුණොත්, වහාම රෝහලක් වෙත යන්න, මොකද ඔබට ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීමක් සිදුවී තිබෙන්න පුළුවන් ! මේ තත්ත්වය ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණොත්, ඔබේ ජීවිතය පවා අහිමි විය හැකි බරපතළ තත්ත්වයක්.

ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීමක් සිදුවන්නේ කොහොමද ?

ශුක්‍රාණුවක් කාන්තාවගේ ප්‍රජනක පද්ධතියට ඇතුළු වෙලා, ඩිම්බය සමඟ එකතු වෙන්නේ, ඒ කියන්නේ සංසේචනය සිදු වෙන්නේ, පැලෝපීය නාලය කියන කොටසේදී යි.

සාමාන්‍ය ගැබ් ගැනීමකදී සංසේචිත ඩිම්බය, පැලෝපීය නාලයේ සිට ගර්භාෂය දක්වා ගමන් කරලා, ගර්භාෂ බිත්තියේ තැන්පත් වෙනවා.

නමුත් ඔබේ පැලෝපීය නාලයේ ප්‍රශ්නයක් වෙලා නම්, සංසේචිත ඩිම්බය පැලෝපීය නාලය තුළම තැන්පත් වෙලා, ගැබ් ගැනීමක් බවට පත්වෙනවා.

මෙයට හේතු වෙන්නේ,

  • පැලෝපීය නාල වලට බළපාන විදියට, ශ්‍රෝණි ප්‍රදේශයේ ක්ලැමීඩියාව, ගොනෝරියාව වැනි ආසාදන ඇති වීම.
  • එහෙම නැත්නම්, පැලෝපීය නාල වල හෝ, ඒ ආශ්‍රිතව ප්‍රජනක පද්ධතියේ සැත්කම් සිදුකර තිබීමයි.

ගර්භාෂයෙන් පිටත සිදුවන ගැබ් ගැනීම් වලින්, 98%ක් සිදුවන්නේ පැලෝපීය නාල තුළයි. නමුත් මීට අමතරව ඩිම්බ කෝෂ, ගැබ් ගෙළ, උදර කුහරය වැනි තැන්වලත් මෙය සිදුවෙන්න පුළුවන්.

මේ තත්ත්වයට බළපාන වෙනත් හේතු මොනවාද ?

  • ඔබට මීට පෙර ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීමක් සිදුවෙලා තිබෙනවා නම්,
  • නළ දරු තාක්ෂණය (IVF) මඟින් සංසේචිත ඩිම්බය, ගර්භාෂය තුළ තැන්පත් කිරීමේදී,

එන්ඩෝමෙට්‍රියෝසිස්, ඒ කියන්නේ ගර්භාෂයේ පටක වෙනත් අවයව වල වර්ධනය වීමේදී, මෙම තත්ත්වය ඇතිවීමේ අවදානමක් තිබෙනවා

ගර්භාෂයෙන් පිටත සිදුවන ගැබ් ගැනීමක් හඳුනාගන්න පුළුවන් රෝග ලක්ෂණ මොනවාද ?

රෝග ලක්ෂණ ඇතිවීමට පටන් ගන්නේ ගැබ් ගැනීම සිදුවෙලා සති හයකින් පමණ පසුව,

ඒ කියන්නේ ඔබේ ඔසප් වීම් ක්‍රමවත් නම්, එක් මාසික ඔසප් වීමක් මඟ ඇරිලා සති දෙකකට පමණ පස්සේ.

මේ නිසා ඔබ එක්කෝ, ඔබේ ගැබ් ගැනීම ගැන දැනගන්නේ නැතුව, ඔසප් වීම ප්‍රමාද වෙලා කියලා හිතාගෙන ඉන්න පුළුවන්. එහෙම නැතුව ඔබ ගර්භණී පරීක්ෂාවක් සිදු කළොත්, ඔබ ගර්භණී බව ප්‍රතිඵලයෙන් පෙන්වනවා.

මීට අමතරව,

1) ඔබේ යටි බඩේ පැත්තක, සාමාන්‍ය මට්ටමේ හෝ දරුණු වේදනාවක් ඇති වෙන්න පුළුවන්. මේ සමඟ යෝනි මාර්ගයෙන් රුධිරය පිට වෙන්න පුළුවන්. මේ පිටවන රුධිරය, සාමාන්‍ය ඔසප් වීමකට වඩාත් තද පැහැති වීම, ප්‍රමාණය වැඩි වීම වෙන්න පුළුවන්.

නමුත් ඔබ එය ප්‍රමාද වුණු ඔසප් වීමක් බව හිතලා නොසලකා ඉන්න වැඩි ඉඩක් තියෙනවා.

2) ඔබේ උරහිස් වල වේදනාවක් ඇති වෙන්න පුළුවන්

3) පැලෝපීය නාලයේ ඇතිවන ගැබ් ගැනීමක් නිසා, පැලෝපීය නාලය පිපිරීමෙන්, යටි බඩේ ඉතා දරුණු වේදනාවක් ඇති වෙනවා. මේ සමඟ සිදුවන අභ්‍යන්තර රුධිර වහනය නිසා, කලන්ත ගතියක් හෝ සිහිනැති වීමක් වෙනවා. මෙහෙම වුණොත් ඉතා ඉක්මනින් රෝහලක් වෙත යා යුතුයි. එහෙම නැත්නම් ජීවිතේ නැතිවීමේ අවධානමක් තියෙනවා.

රෝහලේදී හදිසි සැත්කමක් මගින් රුධිර වහනය නවත්වලා, පිපුරුණු පැලෝපිය නාලය සහ එහි ඇති ගැබ් ගැනීමෙන් ඉතුරු වූ කොටස ඉවත් කෙරෙනවා.

එක්වර ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීමක් සිදුවුණු කාන්තාවකට, අනාගතයේදී සාමාන්‍ය ගර්භණී භාවයක් ලබාගන්න පුළුවන්ද ?

ඔබේ අනෙක් පැලෝපීය නාලය සාමාන්‍ය පරිදි ක්‍රියා කරනවා නම්, සාමාන්‍ය ගැබ් ගැනීමක් ලබා ගන්න පුළුවන්.

මීට පෙර ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීමක් සිදුවලා තියෙනවා නම් හෝ, අපි කියපු වෙනත් අවදානම් සාධක තියෙනවා නම්, පීරියඩ්ස් මිස් වෙලා සති 8ක් ඇතුළත, ගැබ් ගැනීම සාමාන්‍ය බව තහවුරු කරගන්න මාතෘ සායනයට ගිහින් ස්කෑන් එකක් කරගත යුතුයි. මේ පිළිබඳ ඔබට මග පෙන්වීමක් අවශ්‍ය නම්, වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් !

More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way
menu