දුම් වැටි කියන්නේ ඔයාට මිය යන්න තියෙන අමාරුම විදිය. එහෙම කියන්න හේතුව තමයි, දුම්වැටි පාවිච්චි කරන කෙනෙක්, කියල ඉවර කරන්න බැරි තරම් දරුණු ලෙඩ රෝග ගණනාවකට ගොදුරු වෙලා, අවුරුදු ගණනක් විඳවලා තමයි මිය යන්නේ.
ඉතින් මේ තරම් විඳවන්න වෙනවා කියලා දැන දැනත්, ලංකාවේ තරුණයෝ විතරක් නෙවෙයි, තරුණියෝ පවා දුම්පානය පටන් ගන්නේ ඇයි ?
ලංකාවේ තරුණ තරුණියෝ දුම්පානය පටන් ගන්නේ ඇයි ?
දුම්වැටි පාවිච්චි කරන අයගෙන් ඉතා වැඩි ප්‍රමාණයක්, පළවෙනි දුම්වැටිය තොල් දෙක අතර තියාගන්නේ, තමන් සල්ලි දීලා අරගෙන නෙවෙයි. එයා ආශ්‍රය කරන, දුම්වැටි බොන යාළුවන්ගෙන් කෙනෙක්, උගුරක් අදින්න කියලා දෙන දුම්වැටිය තමයි, මේ භයානක ඇබ්බැහියේ මුල. තරුණ වයසේ ඉන්න අයගෙන් ගොඩක් දෙනෙක්ට, තමන් කොන් වෙයි කියන බය නිසා, එහෙම දෙන දුම්වැටිය එපා කියන්න හයියක් නෑ.
මෙහෙම පටන් ගන්න දුම්වැටි භාවිතය නවත්වාගන්න හරිම අමාරුයි. හේතුව, දුම් වැටිවල තියෙන ඇබ්බැහි කාරක ද්‍රව්‍ය නිසා. ඉතින් යාලුවන්ගේ කීම නිසා හරි, show off එකට හරි පටන්ගන්න දුම් වැටි භාවිතය, ඒකෙන් සිද්ධ වෙන හානි ගැන දැනගත්තත්, ගොඩක් දෙනෙක්ට නතර කරගන්න පුළුවන්කමක් නැහැ.
මේ කියපු දේවල් ඔක්කොම අහගෙන ඉඳලත්, ඔයා දුම්වැටි ගන්න තරුණයෙක් නම්, ඔයාට හිතෙනවා ඇති දුම්වැටි ගත්තයි කියලා, මට තාම කිසිම ලෙඩක් හැදුණේ නැහැනේ කියලා.
ඇත්ත, දුම්වැටි ගන්න පටන් ගත්ත ගමන් එක සැරේට ඔයාගේ ඇඟට ලෙඩක් තියෙනවා කියලා දැනෙන්නේ නෑ. නමුත් අවුරුදු ගානක් තිස්සේ දිගින් දිගටම දුම්වැටිවල විෂට, ඔයාගේ ඇඟ නිරාවරණය වෙලා, ඔයාට පිළිකා, Heart attack, පෙනහළු රෝග හැදිලා, රෝහලක ඇඳට වැටිලා කර කියාගන්න දෙයක් නැති වුණාම තමයි, ඔයාට කරපු වැරැද්දේ ප්‍රතිඵල තේරෙන්න ගන්නේ.
ඔයා දුම්වැටි බොන කෙනෙක් නම්, දුම්වැටි බොන එක අතහරින්න හේතුවක් හොයාගන්න බැරිනම්, පොඩි වෙලාවකට මහරගම අපේක්ෂා රෝහලට ගිහින් බලන්න. මීට අවුරුදු විස්සකට තිහකට කලින්, ඔයා වගේම දුම්වැටි පාවිච්චි කරපු අසරණ සීයලා, මුඛ පිළිකා වලින්, පෙනහළු පිළිකා වලින් පීඩා විඳ විඳ, කාගෙවත් හව්හරණක් නැතුව ඉන්නවා ඔයාට බලාගන්න පුළුවන්. දුම් වැටි භාවිතා කරන එක නැවැත්තුවේ නැත්නම්, තව අවුරුදු විස්සකින් ඔයාගේ ඉරණමත් ඒකම තමයි !
දුම්වැටි බොන එකෙන් ඔයා හානියක් කරගන්නේ ඔයාගේ ඇඟට විතරක් නෙවෙයි. ඔයා දුම්වැටි බොනකොට පිටවෙන දුම, ඔයා ළඟ ඉන්න අයට ආශ්වාස වුණොත්, දුම්වැටි වල තියෙන පිළිකාකාරක එයාලගේ ඇඟටත් ඇතුළු වෙනවා.
පවුලේ කෙනෙක් දුම් වැටි පානය කරනවා නම්,
සිගරට් දැල්ලෙන් එන දුම, ෆිල්ටර් එකෙන් එන දුමට වඩා ගොඩක් විෂ සහිතයි. ඒ දුමට නිරාවරණය වෙන කෙනෙක්ට සිදු වෙන හානිය ගොඩක් වැඩියි.
විශේෂයෙන් තාත්තා දුම්වැටි උරන ගෙවල් වල දරුවන්ට, ඇදුම, wheezing වගේ භයානක පෙනහළු රෝග ඇතිවෙන්න පුළුවන්. ගර්භණී කාන්තාවන්ටත් සිගරට් දුම ඉතාම අහිතකරයි. ඒ වගේම අවුරුද්දට අඩු බබාලා සිගරට් දුමට නිරාවරණය වුණොත්, එයාල තොටිල්ලේ නිදාගෙන ඉද්දිම මිය යාමේ අවදානමක් තියෙනවා.
මේ නිසා පවුලේ කෙනෙක් දුම්වැටි බොනවා නම්, ඔයාගේ ස්වාමිපුරුෂයා,පෙම්වතා දුම්වැටි බොනවානම්, එයාව ඒකෙන් මුදවා ගන්න එක ඔයාගේ වගකීමක්. ඒක කරන්න බැරි වුණොත් ඉදිරියේදී අනතුරේ වැටෙන්නේ ඔබේම දරුවන් ඇතුළු පවුලයි.
දුම්වැටියක, ඇඟට අහිතකර රසායනික සංයෝග 4000කට වඩා තියෙනවා.
දුම්වැටි වල ප්‍රධාන හානිකර දේවල් ගැන කතා කළොත්,
නිකොටින් කියන්නේ ඔබව දුම්පානයට ඇබ්බැහි කරවන ද්‍රව්‍යයක්. ඊට අමතරව නිකොටින් වලින් ප්‍රෙශර් හැදෙන්නත්, පිළිකා අවදානම වැඩි වෙන්නත් පුළුවන්.
දුම් වැටි වලින් හැදෙන කාබන් මොනොක්සයිඩ් කියන විෂ වායුව, රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු කරලා, පෙනහළු වල ක්‍රියාවට බාධා කරනවා.
තාර කියන්නේ දුම් වැටි වල තියෙන ප්‍රධාන පිළිකාකාරකයක්. තාරවලට අමතරව Nitrosamine, Hydrocarbons වගේ පිළිකාකාරක ගොඩක් දුම්වැටිවල තියෙනවා.
ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නවා දුම්වැටි වෙනුවට වේප් භාවිතා කළාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ වෙන්නේ නෑ කියලා.
නමුත් ලෝකයේ රටවල් ගණනාවක්, වේප් වල තියෙන සෞඛ්‍ය ගැටලු නිසා, වේප් තහනම් කරලා තියෙනවා.
ඒ වගේම වේප් මෑත කාලීනව ප්‍රසිද්ධ උන දෙයක් වීම සහ, මේකෙන් සිදුවන හානිය ගැන ගොඩක් දෙනෙක්ට දැනුවත් භාවයක් නොමැති වීම නිසා කලින් කවදාවත් දුම්වැටි පාවිච්චි නොකරපු අය, විශේෂයෙන් පාසල් ළමයින්ව, සාමාන්‍ය දුම්වැටිවලට හුරු කරවන්න හේතුවෙන gateway substance එකක් තමයි වේප් කියන්නේ. වේප් වලට ඇබ්බැහි වුණු කෙනෙක් ඉන්පසු සාමාන්‍ය දුම්වැටි වලට යොමුවෙන්න ලොකු අවදානමක් තියෙනවා. මේ වෙනකොට ලංකාවේ දුම්වැටිවල තියෙන හානිය ගැන කරලා තියෙන දැනුවත් කිරීම් කොයිතරම්ද කියනවා නම්, මේ වෙනකොට දුම්වැටි බොන කෙනෙක් හොයාගන්නත් අමාරු වෙලා තියෙන්න ඕනි. නමුත් තාමත් මිනිස්සුන්ට ඒකෙ හානිය තේරිලා නැහැ.
සෞඛ්‍ය වෘත්තිකයෝ විදියට, වේප්, සිගරට් ,ඇල්කොහොල්, මත්කුඩු හෝ වේවා ඕනෑම මත්ද්‍රව්‍යයකට අපි විරුද්ධයි. හේතුව මේවායින් සිදුවන හානිය ගැන අපි අපේ ඇස් දෙකින්ම දැකලා තියෙන නිසා.
ඉතින් කවුරු මොනවා කිව්වත් දුම්වැටි බොන එක නවත්වන්නේ නැති ඔයාගේ යාළුවො ඉන්නවා නම්, මේ දේවල් කියලා දීලා, එයාලව ඒ නරක පුරුද්දෙන් ගලවා ගන්න එක ඔබේ වගකීමක් !
