ගංවතුරට බහින්න එපා !
ගංවතුරේ බැහැලා ඉන්න එකෙන්, ලෙඩ රෝග ගොඩක් හැදෙන්න පුළුවන් කියලා ඔයා දන්නවද ? ගංවතුර නිසා අසනීප නොවී ඉන්න නම් ඔයා මේ දේවල් දැනගෙනම ඉන්න ඕනි.
ගෙවල් පැත්ත ගංවතුරෙන් යට වුණාම, ගංවතුරේ බැහැලා ඇවිදින්නම සිද්ධ වෙන අවස්ථා තියෙනවා. නමුත් විනෝදයට ගංවතුරේ බැහැලා ඇවිදින, පීනන, පාරු පදින අයත් ලංකාවේ ඉන්නවා. මේක සම්පූර්ණයෙන්ම වැරදි වැඩක් !
හේතුව තමයි, ගංවතුර කියන්නේ හිතාගන්න බැරි තරම් කුණු ජරාවෙන්, මළ මූත්‍රාවලින් අපිරිසිදු වුණු වතුර ගොඩක්.
ගංවතුරෙන් ගෙවල්,පාරවල් යට වෙද්දි, ටොයිලට් වලවල් උතුරලා ඒවායේ තියෙන මළ මුත්‍රා, ඒ වගේම කසල පද්ධතිවල තියෙන කැළි කසල, ගංවතුර එක්ක මිශ්‍ර වෙනවා.
මේ නිසා ගංවතුරේ රෝගකාරක බැක්ටීරියා, වෛරස වගේ හානිකර ක්ෂුද්‍ර ජීවීන් ගොඩක් ඉන්නවා. මීට අමතරව හමේ රෝග වලට හේතුවෙන හානිකර ද්‍රව්‍ය ගංවතුරේ මිශ්‍ර වෙලා තියෙන්න පුළුවන්.
ගංවතුරෙන් බෝ විය හැකි ලෙඩ රෝග
- ඉතින් ගංවතුරේ බැහැලා හිටියොත්, ගංවතුරට නිරාවරණය වෙන තැන්වල, විශේෂයෙන් ඇඟිලිකරු අතර, ඉකිලි වල වගේ තැන්වල, rashes ඇතුළු හමේ ආසාදන ඇතිවෙන්න ඉඩ තියෙනවා.
- ඒ වගේම ඔයාගේ හමේ තුවාල තිබුණොත්, ඒවායෙන් බැක්ටීරියා ඇතුළු වෙලා, cellulitis වගේ බරපතල හමේ ආසාදන ඇති වෙන්න පුළුවන්.
- ඒ වගේම ඉණ මට්ටමටත් වඩා වැඩි ගංවතුරේ බැහැලා හිටියොත්, මුත්‍රා මාර්ගයේ ආසාදන ඇතිවෙන්න අවදානමක් තියෙනවා. මේ අවදානම වැඩියෙන්ම තියෙන්නේ කාන්තාවන්ටයි.
- ඒ වගේම ගර්භණී කාන්තාවකට ගංවතුරේ බැහැලා යන්න සිද්ධ වුණොත්, ක්ෂුද්‍ර ජීවීන් ඇතුළු වීම නිසා ගර්භණී සංකූලතා ඇතිවෙලා, අම්මාට සහ බඩේ ඉන්න දරුවාට යන දෙදෙනාටම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.
මේ නිසා විනෝදයට ගංවතුර බැහැලා ඇවිදින්න, පීනන්න, පාරු පදින්න යන්න එපා. විශේෂයෙන් තමන්ගේ දරුවෙක් මෙහෙම කරන එක නවත්වා ගන්න එක, දෙමාපියන්ගේ වගකීමක්.
ඔයාට ගංවතුරේ බැහැලා ඇවිදින්න සිද්ධ වුණොත්,
- බූට්ස් හෝ කකුල වැහෙන සපත්තු, ඒ වගේම හම ආවරණය වෙන විදියේ දිග කලිසමක් ඇඳගෙන යන්න.
- ගංවතුරෙන් ගොඩට ආපු ගමන්ම, ගංවතුරට නිරාවරණය වුණු කොටසේ හම සබන් දාලා හොඳින් හෝදන්න.
- කකුල් වල තුවාල තියෙනවා නම්, ගොඩක් පරිස්සම් වෙන්න ඕනි. තුවාල හොඳින් පිරිසිදු කරලා, ප්ලාස්ටර් දාලා ආවරණය කරලා, ගංවතුරට නිරාවරණය වෙන්න නොදී තියාගන්න එකෙන්, මේ තුවාල බරපතල තත්ත්වයට පත්වෙන එක වළක්වා ගන්න පුළුවන්.
ගංවතුරෙන් ඇතිවෙන ලෙඩ රෝග වළක්වා ගැනීම ඔයාගේ වගකීමක් !
