ඔයා දොර lock කළාද කියලා හරියටම sure නැතුව, ගමනක් යන්න කළින් නැවත නැවත අගුල check කරනවාද ?
අත්වල විෂබීජ තියෙනවා කියලා හිතලා, නිතර නිතර දවසට විසි වතාවක් විතර අත හෝදනවාද ?
මේකට හේතුව, ඔයාට OCD, ඒ කියන්නේ obsessive compulsive disorder තිබීම වෙන්න පුළුවන්.
මේ තත්ත්වයේදී, ඔයාගේ හිතට නිතර නිතර එකම විදියේ සිතුවිලි, රූප, ආවේග වගේ දේවල් එන්න පුළුවන්. මේවාට හඳුන්වන්නේ obsessions කියලායි.
ඒ වගේම මේ සිතුවිලි ඔයාගේම බව ඔයාට දැනෙනවා. මේ වගේ දේවල් හිතට එන එක කරදරකාරීයි. ඒ වගේම එහෙම දේවල් හිතට එන එක ඔයා නවත්වන්න උත්සාහ කළත්, ඔයාට නවත්වාගන්න බැහැ.
මේ කියපු රූප, සිතුවිලි, ආවේග වගේ දේවල් නිසා, ඔයාගේ හිතට එන චකිතය අඩු කරන්න, ඔයා නැවත නැවත එකම විදියේ යම්කිසි දෙයක් කරන්න පෙළඹෙන්න පුළුවන්. ඒක නිතරම අත හෝදන එක, නිතර දොරවල් check කරන එක වගේම, හිතින් ගණන් කරනවා, ගාථා කියනවා වගේ දෙයක් වෙන්නත් පුළුවන්. මේවා හඳුන්වන්නේ compulsions කියලායි.
මෙහෙම එකම දේ නිතර නිතර කරන්න වෙන එක ඔයාගේ හිතට කරදරයක් වගේම, එදිනෙදා වැඩකටයුතු වලටත් විශාල බාධාවක්. මේ වැඩේ කරන එකෙන් ඔයාගේ ආතතිය අඩු වුණත්, ඒ දෙයින් ඔයාට ඇත්තටම සතුටක් ලැබෙන්නේ නැහැ.
ඔයා මෙහෙම කරන දේවල්, නැවත නැවත කළා කියලා විශේෂ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැති, තේරුමක් නැති දේවල් කියලත් ඔයාටම තේරෙනවා. මේ දේවල් නොකර ඉන්න ඔයා උත්සාහ කළත්, ඒවා නතර කරගන්න අමාරුයි.
මේ වගේ හැසිරීම් රටා, අනෙක් අයට පේන දේවල්, ඒ කියන්නේ නිතර නිතර අත හෝදනවා වගේ දේවල් වෙන්න පුළුවන්.
එහෙම නැත්නම් ඔයාගේ හැසිරීම් රටාව, අනෙක් අයට නොපෙනෙන, නිතර හිත ඇතුළෙන් ගාථාවක් කියනවා, ගණන් කරනවා වගේ දෙයක් වුණත් වෙන්න පුළුවන්.
සමහර විට මේ ක්‍රියාකාරකම් නැතුව, සිතුවිලි නිතර එන ගතිය විතරක් තියෙන්නත් පුළුවන්.
අපි මේ විස්තර කරපු OCD තත්ත්වය තියෙන කෙනෙක්ට එන්න පුළුවන් ප්‍රශ්න ගණනාවක් තියෙනවා.
1. සිතුවිලි හා ආතතිය නවත්වාගන්න කරන ක්‍රියාකාරකම් වලට ජීවිතයේ වැඩි කාලයක් යෙදවෙන නිසා, ජීවිතේ අත්‍යාවශ්‍යයෙන් කරන්න ඕනි දේවල්, පාඩම් වැඩ, රැකියා කටයුතු අඩාල වෙන්න පුළුවන්.
2. නිතර නිතර එකම වැඩේ කරන නිසා වෙලාව අසාමාන්‍ය විදියට නාස්ති වෙනවා.
3. ඒ වගේම OCD තත්ත්වය තියෙන අය විශාදය, ඒ කියන්නේ ඩිප්රෙෂන් තත්ත්වයට පත් වෙන්නත් පුළුවන්.
මේ තත්ත්වයට තියෙන ප්‍රතිකාර මොනවාද ?
OCD කියන්නේ සම්පූර්ණයෙන් සුව කරන්න පුළුවන් තත්ත්වයක්.
ඔයා වෛද්‍යවරයෙක් මුණ ගැහුණාම, මුලින්ම ඔයාට නැවත නැවත හිතට එන දේ මොකක්ද කියලා වෛද්‍යවරයා අඳුනා ගන්නවා. ඉන් පස්සේ ඔයත් එක්ක කතා කරලා, ඔයාගේ කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ඉලක්ක අඳුනා ගන්නවා.
OCD තත්වයට ඖෂධ ප්‍රතිකාර තියෙනවා. හිතට එන පීඩනය අඩු කරගන්න මේ බෙහෙත් උදව් වෙනවා.
මේ තත්ත්වයට චර්යාත්මක ප්‍රතිකාර ක්‍රමත් තියෙනවා. මේකෙදි ඔයාගේ හැසිරීම් රටාව ටිකෙන් ටික වෙනස් කරගන්න උදව් වෙන ක්‍රියාකාරකම් සිදු කෙරෙනවා.
මේ දෙකේම එකතුවෙන් හොඳ ප්‍රතිඵලයක් ලබාගන්න පුළුවන්.
OCD තත්ත්වය තියෙන කෙනෙක් වෙනුවෙන් යහළුවන්ට සහ පවුලේ අයට කරන්න පුළුවන් දේවල් මොනවාද ?
OCD තියෙන කෙනෙක්, තමන්ට පීඩාකාරී සිතුවිල්ලක් ආවම හෝ, නිතර නිතර කරන්න අවශ්‍ය ක්‍රියාවක් කරනවා වෙනුවට, එහෙම නොකර ඉන්න එකෙන් එන පීඩාව නැති කරගන්න, අනෙක් අයගෙන් තහවුරු කිරීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. (Reassuarance) උදාහරණයකට, දොර ලොක් කළාද කියලා නිතර නිතර බලන කෙනෙක් , එහෙම බලනවා වෙනුවට, ඒ ගැන පවුලේ කෙනෙක්ගෙන් අහන්න පුළුවන්.
මේකෙන් OCD තියෙන කෙනාට තාවකාලික සහනයක් ලැබුණත්, පීඩාකාරී සිතුවිල්ල එයාට තනියෙන් පාලනය කරගන්න බැරි වෙන නිසා, OCD තත්ත්වය පාලනය නොවෙන්න පුළුවන්.
මේ නිසා OCD තියෙන කෙනෙක්ගේ යහළුවන් හෝ පවුලේ අය, මේ විදියට තහවුරු කිරීමෙන් වළකින්න ඕනි.
OCD තත්ත්වය තියෙන කෙනෙක් තමන්ටම උදව් කරගන්නේ කොහොමද ?
තමන්ගේ හිතට එන කරදරකාරී සිතුවිල්ලට අදාළ ක්‍රියාකාරකම නොකර ඉන්න බලන්න ඕනි. ඒ කියන්නේ නිතර නිතර අත හෝදන්න හිතෙන කොට, නිතර නිතර දොරවල් ලොක් කරලාද බලන්න හිතෙන කොට, ඒ දේ නොකර ඉන්න ඕනි. එහෙම නොකර ඉඳීමෙන් හිතේ ඇතිවෙන ආතතිය වෙලාව ගතවෙද්දී නැතිවෙලා යන බවත්, OCD තියෙන කෙනෙක් තේරුම් ගන්න ඕනි.

