ඔයාට බඩ පපුව දැවිල්ලත් එක්ක, ඔක්කාරය, කෑම අරුචිය, බඩ පුරවා දැමීම තියෙනවා නම් ඔයාට ගැස්ට්රයිටිස් තියෙනවා වෙන්න පුළුවන්.
අපි මුලින්ම බලමු, ගැස්ට්රයිටිස් හැදෙන්නේ කොහොමද කියලා ?
ඔයාගේ ආමාශය ඇතුළේ, කෑම ජීර්ණය කරන්න උදව්වෙන එන්සයිම සහ ඇසිඩ් තියෙනවා. මේ එන්සයිම සහ ඇසිඩ් වලින්, ආමාශයේම බිත්තිය damage වෙන එක වළක්වා ගන්න, ආමාශ බිත්තියේ විවිධ ආරක්ෂක ක්රම තියෙනවා.
නමුත් විවිධ හේතු හින්දා මේ ආරක්ෂක ක්රම විනාශ වුණොත්, ආමාශ බිත්තියේ ප්රදාහ තත්ත්වයක්, එහෙම නැත්නම් ඉදිමීමක් සහ රතුවීමක් ඇතිවෙන එක තමයි ගැස්ට්රයිටිස් කියන්නේ.
මෙහෙම ගැස්ට්රයිටිස් ඇතිවෙන හේතු මොනවාද ?
ගැස්ට්රයිටිස් දවස් කීපයක් තුළ එකපාරට ඇතිවෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දිග කාලයක් තියෙන නිධන්ගත ලෙඩක් විදියටත් ගැස්ට්රයිටිස් තියෙන්න පුළුවන්.
එකපාරට ඇතිවන ගැස්ට්රයිටිස් වලට හේතු තමයි
1. ඇස්ප්රීන්, Brufen වගේ වේදනානාශක ඖෂධ භාවිතා කිරීම
2. අධික මත්පැන් පානය සහ දුම් පානය
3. Stress එක එහෙමත් නැත්නම් මානසික පීඩනය
4. පිළිවෙලට වෙලාවට කෑම වේල් නොගැනීම
නිධන්ගත, ඒ කියන්නේ කාලයක් තිස්සේ තියෙන ගැස්ට්රයිටිස් වලට හේතු තමයි
1. Helicobactor pylori කියන බැක්ටීරියාව ආමාශ බිත්තිය ආසාදනය කිරීම
2. ආමාශයේ සෛලවලට විරුද්ධව ඇඟ විසින්ම ප්රතිදේහ නිපදවා ගැනීම
මේ හේතු නිසා ඔයාට ගැස්ට්රයිටිස් හැදුණොත්,
- බඩේ ඉහළ ප්රදේශයේ දැවිල්ලක් ඇතිවීම
- ඔක්කාරය, වමනේ යාම
- කෑම ගත්තාට පසුව බඩ පුරවා දැමීම
- කෑම අරුචිය වගේ රෝග ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්.
ගැස්ට්රයිටිස් හඳුනා ගන්න තියෙන වැදගත්ම පරීක්ෂාව වෙන්නේ උදරයට කැමරාවක් දාලා කරන එන්ඩොස්කොපි පරීක්ෂාවයි. මේ පරීක්ෂාවෙන් ගැස්ට්රයිටිස් වල මට්ටම සහ ආමාශයේ තුවාල තියෙනවද කියලා අඳුනගන්න පුළුවන්.
