අත හිරිවට්ටන carpal tunnel syndrome සදහා ප්‍රතිකාර


ඔයාගේ අතේ සහ ඇඟිලි වල වේදනාවක්, හිරි ගතියක් ඇති කරන්න පුළුවන් carpal tunnel syndrome කියන රෝගය ගැන අපි කලින් ලිපියෙන් කතා කළා. මේ රෝග ලක්ෂණ නිසා ඔයා වෛද්‍යවරයෙක්ව මුණ ගැහුණාම, රෝගය තහවුරු කරගන්න පරීක්ෂණ සිදු කෙරෙනවා. තෙරපීමට ලක්වුණු ස්නායුවේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන්න, nerve conduction test කියන පරීක්ෂණය සිදු කෙරෙනවා. මීට අමතරව අනෙක් අවදානම් සාධක […]

ඔයාගේ අතේ සහ ඇඟිලි වල වේදනාවක්, හිරි ගතියක් ඇති කරන්න පුළුවන් carpal tunnel syndrome කියන රෝගය ගැන අපි කලින් ලිපියෙන් කතා කළා.

මේ රෝග ලක්ෂණ නිසා ඔයා වෛද්‍යවරයෙක්ව මුණ ගැහුණාම, රෝගය තහවුරු කරගන්න පරීක්ෂණ සිදු කෙරෙනවා.

තෙරපීමට ලක්වුණු ස්නායුවේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන්න, nerve conduction test කියන පරීක්ෂණය සිදු කෙරෙනවා.

මීට අමතරව අනෙක් අවදානම් සාධක වෙන දියවැඩියාව, ආතරයිටීස්, තයිරොක්සින් ඌණතාවය වගේ රෝග තියෙනවාද කියලා පරීක්ෂා කර බලන්න අවශ්‍ය වෙන්න පුළුවන්.

ඔයාගේ රෝගයේ බරපතල කම අනුව වෛද්‍යවරයා ගැළපෙන ප්‍රතිකාර ක්‍රම නියම කරනවා.

මුල් අවස්ථාවේ රෝගය තියෙන, රාත්‍රී කාලයේදී රෝග ලක්ෂණ ඇතිවෙන කෙනෙක්ට, රාත්‍රී කාලයේදී මැණික් කටුව නොසෙල්වෙන විදියට වෙළුම් පතුරක්, එහෙම නැත්නම් splint එකක් දැමීම ප්‍රමාණවත් වෙන්න පුළුවන්.

රෝගය බරපතල නැත්නම්, මැණික් කටුව ප්‍රදේශයට ඉදිමීම අඩු කරන එන්නතක් විදීම මඟින්, රෝගය පාලනය කරන්න උත්සාහ කරන්න පුළුවන්.

රෝග ලක්ෂණ ගොඩක් උත්සන්න වෙලා තියෙන කෙනෙක්ට ස්නායුවේ තෙරපුම අඩු කරන ශල්‍යකර්මයන් අවශ්‍ය වෙනවා.

මේ ශල්‍යකර්මයේදී, වෛද්‍යවරයා ඔයාගේ අත නිර්වින්දනය කරලා, මැණික් කටුවේ උඩ පැත්තේ යොදන කැපුමක් මඟින්, ස්නායුව ගමන් කරන නළය විවෘත කරලා, ස්නායුවේ තෙරපීම නවත්වනවා.

මේ ශල්‍යකර්මය කරන්නේ නැතුව, රෝග ලක්ෂණ දිග කාලයක් තිබුණොත්, ඔයාගේ අත්ලේ මාංශපේෂී වල, නැවත නිවැරදි කරන්න බැරි විදියට ස්ථිර ක්ෂය වීමක් ඇති වෙනවා.

මේ රෝගය වළක්වා ගන්නේ කොහොමද ?

අපි කලින් කියපු, මේ රෝගය හැදෙන්න අවදානමක් තියෙන රැකියාවක් කරන කෙනෙක් නම්, පැයකට වතාවක් වත් වැඩ නවත්වලා විවේකයක් ගන්න එක වැදගත්.

ඒ විවේක වෙලාවෙදි ඔයාට මැණික් කටුවට ව්‍යායාම කරන්න පුළුවන්.

ඇඟිලි මිට මොලවලා, ඇඟිලි හොඳින් ඈත්වෙන විදියට දිග අරින්න. මේ විදියට පස් වතාවක් කරන්න.

ඔය ටයිප් කරන කෙනෙක් නම්, ඔයා සාමන්‍ය විදියට වාඩි වෙද්දි, ඔයාගේ අත, මේසයේ මට්ටමට එන විදියට, ඔයාගේ මේසය, පුටුව සහ keyboard එක හදාගන්න.

ටයිප් කරන වෙලාවට මැණික් කටුව ළඟින් නැමෙන්නේ නැති විදියට keyboard එක adjust කරගන්න.

මේ රෝගයට හේතුවෙන අනෙක් අවදානම් සාධක පාලනය කරගැනීමත්, රෝගය වළක්වා ගන්න උදව් වෙනවා.

ඒ වගේම අපි කියපු රෝග ලක්ෂණ ඔයාට තියෙන බව තේරුණොත්, ඉක්මනින් වෛද්‍යවරයෙක්ව මුණ ගැහෙන්න.

රෝගයේ මුල් අවස්ථාවේදීම වෛද්‍ය ප්‍රතිකාර ගත්තොත්, රෝගය නිසා ඔයාට ස්ථිර හානියක් වෙන එක වළක්වා ගැනීම පහසු වෙනවා.

More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way
menu