උණුවතුර ඇඟට වැටිලා, තාච්චියේ තෙල් ඇඟට වැටිලා පිළිස්සුම් තුවාල ඇති වෙන එක ගොඩක් අයට වෙන දෙයක්.
නමුත් පිළිස්සුමකින් ඔයාගේ හමට වෙන හානිය අවම කරගන්න, එහෙම වෙලාවක කරන්න ඕනි ප්රතිමාධාර ගැන ඔයා දන්නවාද ? ඔයා අද ඉගෙන ගන්න දේවල් ඔයාගේ හෝ ඔයාගේ ළඟ ඉන්න කෙනෙක්ගේ ජීවිතය බේරගන්න වැදගත් වේවි.
කළ යුතු පලවෙනිම දේ
ඒ තමයි ගිනි ඇවිළිලා නම් ගිනි ගැනීම නවත්වන එක. ඔයාට ඇඳුමට ගිනි ඇවිළුණොත් එතනම නැවතිලා (stop) බිම වැතිරිලා (drop) රෝල් වෙන්න (roll). මෙහෙම කරද්දි ගින්නට ඔක්සිජන් ලැබෙන්නේ නැති නිසා ගිනි ගැනීම නවතිනවා.
වෙන කෙනෙක්ගේ ඇඟට ගිණි ඇවිලිලා නම්,
පොරවනයක් වගේ දෙයක් ඒ කෙනාගේ ඇඟට දාලා කලින් කියපු විදිහටම එයාව බිම පෙරළලා රෝල් කරන්න. මෙහෙම කරද්දි ඔයාගේ ඇඟට ගිනි ඇවිළෙන එක වළක්වා ගන්න ප්‍රවේශම් වෙන්න ඕනේ.
ඊළඟට කරන්න ඕන දේ තමයි, පිළිස්සුම් තුවාල අවට තියෙන ඇඳුම්, මුදු වළලු වගේ ආභරණ ඉවත් කරන එක. නමුත් හමට ඇලිලා තියෙන ඇඳුම් හෝ ආභරණ ඉවත් කරන්න උත්සාහ කරන්න එපා. එහෙම කළොත් හමට තවත් හානි වෙන්න පුළුවන්.
වැදගත්ම පියවර
ඊළඟට කරන්න ඕනේ වැදගත්ම දේ තමයි, සාමාන්‍ය උණුසුමේ තියෙන ගලන ජලය විනාඩි විස්සක් යනකන් පිළිස්සුම් තුවාලයට අල්ලන එක. මෙහෙම කරද්දි පිළිස්සුම් තුවාලය ගාව තියෙන තාපය අයින් වෙන නිසා, පිලිස්සුමෙන් වෙන හානිය අවම කරගන්න මේක ගොඩක් අත්‍යවශ්‍ය දෙයක්.
නමුත් මොනම වෙලාවකවත් පිළිස්සුම් තුවාලය අයිස් වතුරෙන් හෝදන්න, තුවාලයට අයිස් තියන්න, බටර් වගේ දේවල් ගාන්න යන්න එපා.
පිළිස්සුම් තුවාලය මතට පිරිසිදු පොලිතින් එකක් (cling film) එලන්න. නමුත් තුවාල වුණු තැන තදවෙන විදියට පොලිතින් එක ගැටගහන්න එපා. මෙහෙම කරන එකේ අරමුණ තුවාලයට විෂබීජ ඇතුළුවීම වළක්වන එකයි.
පිළිස්සුම් තුවාලයක් තියෙන කෙනෙක්ගේ ඇගේ රස්නය ඉක්මනින් පිටවෙලා ශරීර උෂ්ණත්වය අධිකව අඩු වෙන්න පුළුවන්. මේක වළක්වා ගන්න පිරිසිදු පොරෝනයකින් , පිළිස්සුම් තුවාල වල නොගෑවෙන විදියට, අනතුරට ලකුණු කෙනාව ආවරණය කරන එක වැදගත්.
රෝහලකට යන්න ඕනි මොන වෙලාවටද?
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි රෝහලකට යන්න ඕනේ කොයි වගේ පිළිස්සුම් තුවාලයක් වුණොත්ද කියන එක.
- පිළිස්සුමට ලක්වුණු ප්‍රදේශයේ ප්‍රමාණය අනතුරට පත් කෙනාගේ අතේ ප්‍රමාණයට වඩා ලොකුයි නම්
- හම සුදු පාට හෝ අඟුරු පාට වෙන විදියේ ඕනෑම ප්‍රමාණයක ගැඹුරු පිළිස්සුමක්
- පිළිස්සුම වෙලා තියෙන්නේ මූණේ, බෙල්ලේ, අත්වල, කකුල්වල සන්ධියක හෝ ලිංගාශ්‍රිත ප්‍රදේශයක නම්
ඔයා රෝහලකට යන්න ඕනි.
- ඒ වගේම පිළිස්සුම වුණේ විදුලිසර වැදීමකින් හෝ ඇසිඩ් හෝ භාෂ්මික රසායනික ද්‍රව්‍යයකින් නම්
- පිළිස්සුමට අමතරව වෙනත් අනතුරු ඇතිවුණොත්
- හම සීතල වෙලා, දාඩිය දාන්න පටන් අරගෙන, හුස්ම ගන්න වේගය වැඩි වෙලා, කලන්ත ගතියක් ඇතිවුණොත්, (කම්පන තත්ත්වයක් ඇතිවුණොත්)
- පිළිස්සුමට ලක්වුණු කෙනා අවුරුදු දහයට අඩු දරුවෙක් නම්
- හදවත්, පෙනහළු, අක්මා රෝග, දියවැඩියාව වගේ වෙනත් රෝග තියෙන කෙනෙක් නම්
- ගිනිගැනීමකදී ඇතිවෙන දුම සහ අළු ආශ්වාස කරපු කෙනෙක් නම්
ඉක්මනින් රෝහලකට යන්න ඕනි.
