ඔයා අද වතුර බිව්වා අඩුයි නේද ? වතුර අඩුවෙන් බීලා ඇඟ විජලනය වුණොත්, ඔයාට මුත්‍රා ගල් හැදෙන්න පුළුවන් කියලා දන්නවාද ?
ඔයාගේ මුත්රාවල තියෙන ඛනිජ සහ අම්ල ලවණ කැටි ගැසීමෙන් තමයි මුත්‍රා ගල් හැදෙන්නේ.
ඔයාට මුත්‍රාගල් තියෙනවාද කියලා දැනගන්නේ කොහොමද ?
ඔයාගේ වකුගඩු වල, මුත්‍රා නාල වල, මුත්‍රාශයේ වගේ මුත්‍රා මාර්ගයේ නොයෙක් තැන් වල මුත්‍රාගල් ඇතිවෙන්න පුළුවන්.
වකුගඩු වල මුත්‍රා ගලක් තිබුණොත් යටි කොන්දේ පැත්තකට වෙන්න, දිගටම තියෙන වේදනාවක් දැනෙන්න පුළුවන්.
මුත්‍රා නාල වල ගලක් තිබුණොත්, ඔයාගේ යටි කොන්දේ පැත්තක ඉඳන් යටි බඩ දිහාවට විහිදෙන ඉතාම දරුණු කැක්කුමක් ඇතිවෙනවා. මේක සැරින් සැරේට ඇතිවෙන ඉවසාගන්න ඉතාම අමාරු වේදනාවක්.
මීට අමතරව ඔයාට වමනය යාම, වමනෙට එනවා වගේ දැනීම, අධිකව දාඩිය දැමීම වෙන්න පුළුවන්.
මුත්‍රාගල් තියෙන කෙනෙක්ට මුත්‍රා ආසාදන ඇතිවෙන්නත් ලොකු ඉඩක් තියෙනවා. එහෙම වුණොත් කලින් කියපු ලක්ෂණ වලට අමතරව ඔයාට උණ, මුත්‍රා දැවිල්ල වගේ රෝග ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්.
මේ රෝග ලක්ෂණ ඇතිවෙලා ඔයා වෛද්‍යවරයෙක්ව මුණ ගැහුණාම, මුත්‍රා ගලක් තියෙනවා කියලා තහවුරු කරගන්න, වෛද්‍යවරයා x-ray පරීක්ෂාවක් සිදු කරනවා.
සමහර අයගේ මුත්‍රාගල තහවුරු කරගන්න CT පරීක්ෂාවකට යොමු වෙන්නත් වෙනවා.
මුත්‍රා ගල් නිසා ඇතිවෙන අපි කියපු රෝග ලක්ෂණ ඔයාට කොයි වෙලාවක හරි ඇතිවුණොත්, ඉක්මනින් වෛද්‍යවරයෙක් හමුවෙන එක ඉතාම වැදගත්.
එහෙම නැතිවුණොත් මුත්‍රා ආසාදන වගේ නොයෙක් සංකූලතා ඔයාට ඇතිවෙන්න පුළුවන්.
