ඔයාගේ මූණ සුදුමැලියි නම්, ඉක්මනින් මහන්සි දැනෙනවා නම්, ඔයාගේ ඇඟේ යකඩ අඩුවීම මේකට හේතුව වෙන්න පුළුවන්
අද අපි කතා කරමු, ඔයාගේ ඇඟට අවශ්‍ය යකඩ හරි විදිහට ගන්නේ කොහොමද කියලා.
අපේ ඇඟට කෑමෙන් ලැබෙන යකඩ වර්ග දෙකක් තියෙනවා.
- සත්ත්ව ආහාර, ඒ කියන්නේ මස් මාළු කරවල හාල්මැස්සෝ වගේ කෑම වල තියෙන්නේ හීම් කියන යකඩ වර්ගය. මේ යකඩ වර්ගය ඇඟට පහසුවෙන් උරා ගැනෙනවා.
- ශාක ආහාර සහ බිත්තරවල තියෙන හීම් නොවන යකඩ ඇඟට උරාගන්නේ ඊට වඩා අඩුවෙනුයි.
නිවිති, කතුරුමුරුංගා, මුරුංගා කොළ වගේ තද කොළ පාට පලා වර්ග වලින්, කඩල කවුපි මුං පරිප්පු වගේ මාංශ භෝග වලින්බඩ ඉරිඟු කුරක්කන් වගේ ධාන්‍ය වලින් මේ හීම් නොවන යකඩ වර්ගය ඇඟට ලැබෙනවා
අපි කන කෑම වල තියෙන මේ යකඩ, ඇඟට උරාගන්න එක වැඩි කරන්න අපිට කරන්න පුළුවන් මොනවාද ?
1) අපේ ආහාර මාර්ගයෙන් යකඩ උරාගන්න එක වැඩි කරවන්න විටමින් සී වලට පුළුවන්.
මේ නිසා කෑමෙන් පස්සේ විටමින් සී තියෙන දෙහි, නාරං, ගස්ලබු, නෙල්ලි, පේර වගේ පලතුරු කෑමට ගන්න එක වැදගත්.
ගර්භණී කාලයේදී අම්මලාට යකඩ පෙති එක්ක ගන්න විටමින් සී දෙන්නෙත් මේ හේතුව නිසයි.
යකඩ උරා ගැනීම වැඩි කරන්න හේතු වෙන තවත් දේවල් තමයි,
2) කෑම හදද්දි දෙහි, සියඹලා, තක්කාලි වගේ දේවල් එකතු කිරීම
3) කඩල, මුං ඇට වගේ ධාන්‍ය පැය 24ක් වතුරේ පොඟවලා, අංකුර ආවට පස්සේ කෑම හදන්න යොදාගැනීම
දැන් අපි බලමු ඇඟට යකඩ උරාගන්න එක අඩු වෙන්නේ මොනවා නිසාද කියලා.
තේ සහ කෝපි වලින් ඇඟට යකඩ උරාගන්න එක අඩු කරනවා. මේ නිසා තේ, කෝපි බොනවානම් කෑම කන්න පැයකට කලින් හරි පැයකට පස්සෙ හරි බොන්න ඕනි.
ඒ වගේම කැල්සියම් ටැබ්ලට්, යකඩ එකට ගත්තොත් යකඩ උරා ගැනීම අඩුවෙනවා. මේ දෙක දෙවරකට ගන්න ඕනි.
මේ නිසා තමයි ගර්භනී කාලයේදී යකඩ විටමින් සී සහ ෆෝලික් ඇසිඩ් රෑට අරගෙන, කැල්සියම් උදේට ගන්න කියන්නේ.
මේක ගැන දැනුවත් නැති ගර්භනී අම්මලා, යකඩ සහ කැල්සියම් එකට ගන්න නිසා ලේ වල යකඩ අඩුවීමෙන් ඇතිවෙන ඇනීමියා තත්ත්වය ඇතිවෙලා, සංකූලතා ඇතිවෙන අවස්ථා තියෙනවා.
කෑමෙන් ලැබෙන යකඩ ප්‍රමාණය අඩුවීමට අමතරව ඇගේ යකඩ අඩු වෙන්න බලපාන තව හේතු තියෙනවා.
ඔසප් වීමේදී අධිකව රුධිරය පිටවීම අර්ශස් රෝගය කොකු පනු රෝගය වගේ දේවල් නිසා ඇගේ යකඩ අඩු වෙන්න පුළුවන්.
අපේ ඇඟේ යකඩ අඩුවුණොත්
ඉක්මනින් මහන්සි වීම සහ මුහුණ සුදුමැලිවීමට අමතරව
- ඔයාට ලේසියෙන් ලෙඩ රෝග හැදෙනවා,ප්‍රතිශක්තිය අඩුවෙනවා
- අවධානය සහ මතක ශක්තිය අඩුවෙනවා
- වර්ධනය අඩු වෙනවා
- ගර්භනී කාලයේදී සංකූලතා ඇතිවෙලා දරුවාගේ උපත්බර අඩුවීම වගේ දේවල් වෙන්න පුළුවන්
මේ රෝග වළක්වා ගෙන නිරෝගී ජීවිතයක් ගත කරන්න අපි කියපු උපදෙස් අනුව ඇඟට අවශ්‍ය යකඩ ප්‍රමාණය නිවැරදිව ගන්න එක ගොඩක් වැදගත්.
