සමාජ මාධ්‍ය වලින් අනෙක් අයට හිංසා කරන එක, හිතනවාට වඩා දරුණු තැනකින් කෙළවර වෙන්න පුළුවන්.
සයිබර් අවකාශය තුළ, අපි පෞද්ගලිකත්වයක් නැති වෙන තරමට අනෙක් අයට නිරාවරණය වෙලයි ඉන්නේ. ඒ නිසා අපිට හිතෙන ඕනිම දෙයක්, අන්තර්ජාලයෙන් අනෙක් අයට කියන්න, අපිට ඉඩ ලැබිලා තියෙනවා.
අපේ සම්බන්ධතා වල තියෙන දුරස්ථ බව නිසා, ඒ කියන දේවල් වල ප්‍රතිඵලය ගැන අපි හිතන්නේ හරිම අඩුවෙන්.
නමුත් ඔයා සමාජ මාධ්‍ය වල විහිලුවට හරි, නැත්නම් හිතාමතා හරි කියන සමහර දේවල්, අදාළ කෙනා බාරගන්නේ බොහොම බරපතළ විදියට වෙන්න පුළුවන්.
සමාජ මාධ්‍ය කියන්නේ මායාවක්. කෙනෙක්ගේ හිතේ ඇත්තටම තියෙන දුක් කරදර එයා සමාජ මාධ්‍ය වල පළකරන්න තියෙන ඉඩ හරිම අඩුයි.
සමහරවිට එයා පහුකරන්නේ ජීවිතේ අමාරුම කාල පරිච්ඡේදයක් වෙන්න පුළුවන්. එයා ඉන්න ගැටේටේ අග්ගිස්සෙන් එයාව තල්ලු කරන්නේ, ඔයා දාන්න පුංචි කමෙන්ට් එක වෙන්න පුළුවන්.
ඒ නිසා අනෙක් අයට හිරිහැරයක් නොවෙන විදිහට සමාජ මාධ්‍ය පාවිච්චි කරන එක අපි හැමෝගෙම වගකීමක්.

