දරුවන් අතට phone දීමේ හානිය


තමන්ගේ අඬන දරුවාව නළවගන්න , අද කාලේ ගොඩක් අම්මලා තාත්තලා කරන එකම දේ තමයි, දරුවාගේ අතට phone එක දෙන එක. Phone එක ගත්ත ගමන්, දරුවා වෙන කිසිම දෙයක් නොකර ඔහේ දිගටම screen එක දිහා බලාගෙන ඉන්නවා. අම්මලා තාත්තලා ලේසියට කරන වැඩේ දරුවන්ට කොහෙත්ම හොඳ නැහැ. ජීවිතයේ පළවෙනි අවුරුදු කීපය දරුවෙක්ගේ මොළය වර්ධනයට ගොඩක් වැදගත්. මේ […]

තමන්ගේ අඬන දරුවාව නළවගන්න , අද කාලේ ගොඩක් අම්මලා තාත්තලා කරන එකම දේ තමයි, දරුවාගේ අතට phone එක දෙන එක. Phone එක ගත්ත ගමන්, දරුවා වෙන කිසිම දෙයක් නොකර ඔහේ දිගටම screen එක දිහා බලාගෙන ඉන්නවා.

අම්මලා තාත්තලා ලේසියට කරන වැඩේ දරුවන්ට කොහෙත්ම හොඳ නැහැ.

ජීවිතයේ පළවෙනි අවුරුදු කීපය දරුවෙක්ගේ මොළය වර්ධනයට ගොඩක් වැදගත්. මේ කාලයේදි දරුවන් හැකියාවන් ගොඩක් අලුතින් ඉගෙන ගන්නවා.

දරුවන්ට ඇහෙන, දකින දේවල් වලට ප්‍රතිචාර දක්වන්න, අනිත් අයට තමන්ගේ අදහස් කියන්න, දරුවා ඉගෙන ගන්නවා.

දරුවන්ගේ හැසිරීමේ වර්ධනය, ඒ වගේම දණගාන්න, ඇවිදින්න පුරුදු වෙන එක වගේ ශාරීරික ක්‍රියාකාරකම් වර්ධනය වෙන්නෙත් මේ කාලයේදියි.

දරුවාගේ ජීවිතයට මේ තරම් වැදගත් කාලයේ, ඔයා දරුවාගේ අතට phone එකක් දුන්නොත් මොකක්ද වෙන්නේ ?

Phone එක බලන වෙලාවට, දරුවෙක්ට සංවේදනය වෙන්නේ, phone එකෙන් එන රූප සහ ශබ්ද විතරයි.

සාමන්‍යයෙන් දරුවෙක් තමන්ගේ වටපිටාවේ දේවල් වලට, දරුවාට ඇහෙන දකින දේවල් වලට ප්‍රතිචාර දක්වනවා.

දරුවා කරන දේවල් වලට අවට වටපිටාවෙන් සහ වැඩිහිටියන්ගෙන් දරුවාට නැවත ලැබෙන ප්‍රතිචාර, දරුවා අවබෝධ කරගන්නවා. දරුවෙක් සන්නිවේදනය සම්පූර්ණ කරගන්නේ මේ විදියටයි.

නමුත් දරුවෙක් phone එක පාවිච්චි කරන වෙලාවට දරුවා කරන දේවල් වලට ගැළපෙන විදියට ප්‍රතිචාර දක්වන්න, phone එකකට හැකියාවක් නැහැ.

මේ නිසා දරුවා මවාගත්ත ලෝකෙක තනිවෙනවා. එයට දැනෙන දේවල් වලට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා එයා ඉගෙන ගන්නේ නැතිවෙනවා.

ඒ වගේම සාමාන්‍ය වෙලාවට දරුවෙක් තමන් දකින, ඇහෙන දේවල් අනෙක් සංවේදන වෙන ගඳ සුවඳ දැනීම, ස්පර්ශය, රස වගේ දේවල් එක්ක සම්බන්ධ කරගන්න ඉගෙන ගන්නවා. නමුත් phone එකේ දකින මවාගත්ත ලෝකේ හිරවෙලා ඉන්න දරුවාට මේ දේ කරගන්න ලැබෙන්නේ නැහැ.

ඒ වගේම phone එකේ ගොඩක් වෙලා ඉන්න නිසා, දරුවාගේ ශාරීරික ක්‍රියාකාරකම් වර්ධනය පරක්කු වීමත් වෙනවා.

දරුවාගේ ක්‍රියාකාරීත්වය අඩුවීම නිසා දරුවාගේ බර නියමිත මට්ටම්ට වඩා වැඩි වෙලා සෞඛ්‍ය ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.

දරුවාගේ මානසික දියුණුව සහ වර්ධනය අඩුවෙන නිසා දරුවාගේ නිර්මාණශීලී බව අඩු වෙනවා.

ඒ වගේම මේ වැරදි වැඩෙන් දරුවාට ඔටිසම් රෝග ලක්ෂණ මතුවීමේ අවදානම වැඩිවෙන්න පුළුවන්.

ඉතින් පුංචි දරුවන්ව නළවන්න ෆෝන් එක අතට දෙන එක කොයිතරම් දරුවාට හානිකර ද කියලා ඔයාට තේරෙන්න ඇති.

ඔයා වගකිව යුතු දෙමව්පියෙක් නම්, දරුවාට අවුරුදු දෙකක්වත් යනකන්, phone, tv පෙන්නන්නවත් එපා.

ඉන්පස්සෙත් දරුවන් screen එක දිහා බලාගෙන ඉන්න වෙලාව පුළුවන් තරම් අඩු කරන්න.

දරුවාට අවුරුදු දෙකේ සිට අවුරුදු පහ වෙනකන් කාලයේදී දවසකට පැයකට වඩා දරුවාට tv, phone බලන්න දෙන්න එපා. ඒ වෙලාවෙදිත්, දරුවන්ගේ ළමා මනසට ගැළපෙන විදියට නිර්මාණය කරලා තියෙන වැඩසටහන් තෝරගෙන දරුවාට බලන්න දෙන එක ඔයාගේ වගකීමක්. දරුවා එක්ක ඔයත් tv එක හෝ phone එක බලන ගමන්, දරුවා එක්ක කතා කරමින් ඒ අත්දැකීම බෙදාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.

මීට අමතරව දරුවෙක්ගේ වර්ධනය හොඳින් සිදුවෙන්න නම්, දෙමව්පියන් විදියට ඔබ කරන්න ඕනි මොනවාද ?

දරුවාව නළවගන්න ඔයා දරුවා එක්ක සෙල්ලම් කරන එක, දරුවාව එළිමහනට එක්කන් යන එක වගේ දේවල් කරන්න පුලුවන් නම් හොඳයි. ඒක දරුවාගේ වර්ධනයට වගේම, ඔයාගේ සහ දරුවාගේ සම්බන්ධය වැඩි වෙන්නත් හේතු වෙනවා.

Screen එකක් දිහා බලාගෙන ඉන්න දරුවාට පුරුදු කරවනවා වෙනුවට, දරුවාට සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කරන්න, චිත්‍ර අඳින්න, එළිමහනේ ස්වභාවික පරිසරයක දරුවාට සෙල්ලම් කරන්න පුරුදු කරවන්න.

දරුවාට හොඳින් අවධානය දෙන්න. දරුවා නින්දට යන වෙලාවට දරුවාට කවි, කතන්දර කියලා දෙන්න.

දරුවාට කෑම කවන වෙලාවට, දරුවා අඬන වෙලාවට දරුවාගේ අතට ෆෝන් එක දෙන්න එපා.

දරුවා එක්ක ඉන්න වෙලාවට දෙමව්පියන්ට ෆෝන් එක පාවිච්චි නොකර ඉන්න පුළුවන් නම් හොඳයි. මොකද දරුවො තමන්ගේ දෙවම්පියෝ කරන දේවල් දිහා බලාගෙන ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. ඒ නිසා දරුවන්ව ෆෝන් එකෙන් ඈත් කරන්න නම්, දරුවෝ එක්ක ඉන්න වෙලාවට ඔයාටත් ෆෝන් එකෙන් ඈත් වෙන්න වෙනවා.

More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way
menu