පුංචි දරුවෙක්ට උණ හැදුනට පස්සේ, ඇඟ දරදඬු වෙලා ගැහෙන්න පටන් ගත්තොත්, ඒ කියන්නේ උණ වලිප්පුව හැදුණොත්, ඔබ කරන්න ඕනි මොනවාද ?
උණ වලිප්පුව කියන්නේ මොකක්ද?
උණ වලිප්පුව කියන්නේ මාස 6ත් අවුරුදු 6ත් අතර පොඩි බබාලට, උණ හැදුණම මොලේ රසායනික ක්‍රියාකාරීත්වය වෙනස් වෙන නිසා හැදෙන ලෙඩක්.
වලිප්පුවක් හැදීමේදී, උණ හැදිලා ඉන්න බබෙක්ගේ ඇඟ දරදඬු වෙලා ගැහෙන්න පටන් ගන්න පුළුවන්. බබාගේ ඇස්වල කළු ඉංගිරියාව උඩට යාම, කටින් පෙණ පිටවීම, බබාට නොදැනුවත්ව මළ මුත්‍ර පිටවීම සිදුවෙන්න පුළුවන්.
ගොඩක් වෙලාවට මේ වලිප්පු තත්ත්වය විනාඩි පහළොවකට අඩු වෙලාවකින් නතර වෙනවා.
සමහර වෙලාවට බබාට උණ ගැනෙන්න කලින් වලිප්පු තත්ත්වය ඇතිවෙන්න පුළුවන්.
උණවලිපුව හැදුනම කල යුතු දේවල් මොනවද?
උණවලිපුව හැදුණු බබෙක් වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් දේවල් ගැන දැනුවත් වෙලා ඉන්න එක ඉතාම වැදගත් !
වැදගත්ම දේ තමයි ඔබ කලබල නොවී, හිත සන්සුන්ව තියාගැනීම. ඔබ කලබල වෙලා කරන දේවල් වලින් බබාට හානි සිදුවෙන්න පුළුවන්.
බබාට වලිප්පු තත්ත්වය ඇතිවුණොත් මුලින්ම බබාව ඇඳක හෝ බිම වම් ඇලයට දිගා කරවන්න. කටින් සෙම හෝ පෙණ වගේ ඇවිත් නම් පිරිසිදු රෙදි කෑල්ලකින් පිස දමන්න.
නමුත් කටට කිසිම දෙයක් ඇතුළු කරන්න එපා !
තද ඇඳුම්, විශේෂයෙන් බෙල්ල වටේට තියෙන තද ඇඳුම් බුරුල් කරන්න.
අනිත් අයගෙන් උදවු ඉල්ලලා, විනාඩි 5ක් යනකන් මේ ප්‍රථමාධාර ලබාදෙන ගමන් විමසිල්ලෙන් ඉන්න. වලිප්පු තත්ත්වය විනාඩි පහකට වඩා තියෙනවා නම්, දරුවව ළඟම තියෙන රෝහලට අරගෙන යන්න.
එහෙම ගෙනියද්දි දරුවා වම් ඇලයට හරවලා ගෙන යා යුතුයි.
වලිප්පුවක් හැදුණු වෙලාවට නොකලයුතු දේවල් මොනවද?
වලිප්පුවක් හැදුණු වෙලාවට දෙන්න ඕනි නිවැරදි ප්‍රථම ආධාර දෙනවා වගේම, නොකරන්න ඕනේ වැරදි දේවල් මොනවද කියලා දැනගැනීමත් වැදගත්.
- දරුවාව උඩට උස්සලා වඩා ගන්න එපා
- දරුවා මතට වතුර වක් කරන්න එපා
- දරුවා වතුරේ ගිල්වන්න එපා
- දරුවාව අයිස් වතුරෙන් හෝ උණුවතුරෙන් තෙමන්න එපා
දත් පූට්ටු වෙලා තියෙනවා නම් හැඳි හෝ ලී හෝ වෙන කිසිවක් භාවිතා කරල කට අරින්න උත්සාහ කරන්න එපා
යකඩ ඇණ වගේ දේවල් අතට දෙන්න එපා
වතුර හෝ පාන වර්ග කිසිවක් බොන්න දෙන්න එපා. කට ඇතුළට කිසිවක් දමන්න එපා.
වලිපුවක් හැදෙන එක නවත්වා ගැනීම උණ පාලනයෙන් කරන්න බැහැ. පැර සිට මුල් නියමිත මාත්‍රාවෙන් වීමෙන් තද උණ නිසා දරුවට ඇතිවෙන ශාරීරික අපහසුව නැති කිරීම විතරක් කරන්න පුළුවන්.
උණ වලිප්පුව එක් වරක් හැදුණු දරුවෙක්ට නැවත උණ ගැනුනොත් වලිප්පු තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් තියෙනවා.
ඒ නිසා වලිපුවක් ඇති උනොත් කළ යුතු නොකළ යුතු දේවල් මොනවාද කියලා දැනුවත් වෙලා සිටීම වැදගත්.
උණ වලිප්පුව හැදුන දරුවෙකුගේ මානසික වර්ධනයේ අඩුවක්, ඉගෙනීමේ අපහසුතා ආදිය ඇතිවෙන්නේ නෑ.
පරම්පරාවේ කාට හරි කෙනෙක්ට උණ වලිප්පුව හැදිලා තියෙනවා නම්, එහෙම බබෙක්ටත් උණ වලිප්පුව හැදීමේ අවදානමක් තියෙනවා.

