මේ දවස්වල වසංගතයක් වෙලා තියෙන ඩෙංගු රෝගය, ඔයාලටත් කොයි වෙලාවේ හරි හැදෙන්න අවදානමක් තියෙනවා.
ඩෙංගු මදුරුවෙක් ඔබට දෂ්ට කලාම, මදුරුවාගෙන් ඔබේ ඇඟට ඩෙංගු වෛරසය ඇතුළු වෙනවා.
ඩෙංගු වෛරසය ඇගේ තිබුණත් ගොඩක් දෙනෙක්ට උණ හෝ වෙනත් රෝග ලක්ෂණ කිසිවක් ඇති වන්නේ නැහැ.
රෝග ලක්ෂණ ඇතිවෙන අයට ඩෙංගු උණ හෝ ඩෙංගු රක්තපාත තත්ත්වය ඇතිවෙන්න පුළුවන්.
කලින් ඩෙංගු රෝගය හැදුණු කෙනෙක්ට, නැවත ඩෙංගු රෝගය හැදුනොත් රෝගය දරුණු වෙන්න සහ ඩෙංගු රක්තපාත තත්ත්වය හැදෙන්න වැඩි ඉඩක් තියෙනවා.
ඩෙංගු රෝගයේ රෝග ලක්ෂණ මොනවාද ?
- ඩෙංගු උණ තියෙන කෙනෙක්ට, දවස් 2-7ත් අතර ගණනක් තියෙන තද උණක්, ඔලුව රිදීම, ඇස් පිටුපස රිදීම, වමනේ යාම සිදුවෙන්න පුළුවන්.
- ඒ වගේම මාංශපේශී (muscle) රිදීමක්, හන්දි (joint) රිදීමක් ඇතිවෙන්න පුලුවන්.
- සමහරුන්ගේ රුධිරවාහිනීවලට හානි වෙලා ලේ ගලන නිසා, හමේ රතුපාට පැල්ලම් ඇතිවෙන්න පුළුවන්. මූණ රතු වීම වෙන්න පුළුවන්.
- මීට අමතරව විදුරුමසින් ලේ ගැලීම, නහයෙන් ලේ ගැලීම, මූත්‍ර හෝ මළපහ සමග ලේ පිටවීම සිදුවෙන්න පුළුවන්.
මේ කියපු රෝග ලක්ෂණ ඩෙංගු රක්තපාත තත්ත්වයේදී විතරක් නෙවෙයි, සාමාන්‍ය ඩෙංගු උණේදිත් ඇතිවෙන්න පුළුවන්.
ඉතින් මේ රෝග ලක්ෂණ තියෙනවා නම්, ඒ කෙනාව ගෙදර තියාගෙන සාත්තු කරලා සනීප වෙයි කියලා හිතන්නේ නැතුව, ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ගන්න ඕනි.
හේතුව ඩෙංගු උණ තියෙන අයගෙන් කොටසක්, ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්වෙන්න පුළුවන්.
ඒ වගේම සාමාන්‍යයෙන් 150,000-450,000 අතර තියෙන්න ඕනේ platelet ප්‍රමාණය, ඩෙංගු රෝගයේදී අඩුවෙනවා.
Platelet 100,000කට වඩා අඩුයි නම් තත්ත්වය ඉතා භයානකයි. එහෙම රෝගයෙක් ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්වෙලා වෙන්න පුළුවන්.
ඩෙංගු රක්තපාතය කියන්නේ මොකක්ද ?
ඩෙංගු රක්තපාත තත්ත්වයේදී, ඔයාගේ රුධිර වාහිනී තුළ තියෙන ප්ලාස්ම තරලය, රුධිරවාහිනී වලින් එළියට ලීක් වෙනවා.
මෙහෙම වුණාම ඔයාගේ ඇඟේ අත්‍යාවශ්‍ය අවයවලට සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවෙලා, ඔයා මිය යන්න පවා පුළුවන්.
ඉතින් ඩෙංගු රක්තපාත රෝගියෙකුගේ ජීවිතය බේරගන්න නම්, රුධිරවාහිනී වලින් එළියේ ප්ලාස්මා තරලය එකතුවීම වැඩි නොවෙන විදියට සහ, අත්‍යවශ්‍ය අවයව වලට අවශ්‍ය රුධිර ප්‍රමාණය අඩු නොවෙන විදියට හරි දියර ප්‍රමාණය රෝගියාට දෙන්න ඕනි.
ඩෙංගු හැදුණු රෝගියාට රෝහලේදි වතුර බොන ප්‍රමාණය සහ මුත්‍ර පිටවන ප්‍රමාණය මැනලා ලියාගන්න කියලා උපදෙස් දුන්නත්, ගොඩක් දෙනෙක් ඒ වැඩේ කරන්නේ නෑ.
මේක ඉතාම වැරදි වැඩක්. හේතුව ඔයාට පිටවෙන මුත්‍රා ප්‍රමාණය අනුව තමයි රුධිරවාහිනි වලින් ප්ලාස්මා එළියට ලීක් වෙන්න අරගෙනද, එහෙනම් ඔයා දියර බොන ප්‍රමාණය කොයි විදියට වෙනස් කරන්න ඕනෙද කියන හැමදේම වෛද්‍යවරුන් තීරණය කරන්නේ.
ඒ නිසා මේ වැඩේ නොකර හිටියොතින් ඔය අවදානමේ දාගන්නේ ඔයාගේ ජීවිතේමයි.
ඩෙංගු NS1 ඇන්ටිජන් ටෙස්ට් එක කියන්නේ මොකක්ද ?
මේක ඩෙංගු රෝගය තියෙනවද කියලා තහවුරු කරගන්න තියෙන පරීක්ෂණ ක්‍රමයක්.
රෝගය හැදිලා පළවෙනි දවස් තුන ඇතුලේ කරගත්තොත් සාර්ථකයි.
පළවෙනි වතාවට ඩෙංගු හැදුණු රෝගියෙකුගේ NS1 test එක positive වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
NS1 test එක negative වුණා කියලා, ඔබට ඩෙංගු රෝගය නැති බව 100%ක් කියන්න බෑ.
ඩෙංගු රෝගය තියෙන කෙනෙක් බොන්න හොඳ මොනවාද ?
වතුර බොනවාට වඩා, ජීවණී, තැඹිලි වතුර, කැඳ හෝ සුප් බීම හොඳයි.
නමුත් රතු පාට හෝ දුඹුරු පාට බීම වර්ග ගැනීම සුදුසු නැහැ. ඒකට හේතුව මේ බීම ජාති වලින් මුත්‍රා රතුපාට වෙන්න පුළුවන් නිසා, ඩෙංගු රෝගයේදී ඇතිවෙන මුත්‍රා සමඟ ලේ පිටවීම වෙන් කරලා අඳුරගන්න අමාරු වීමයි.
ඩෙංගු test එක positive වෙලා, රෝහලට ඇඩ්මිට් වෙන්න තරම් රෝගය බරපතල නැති කෙනෙක්ට මොනවද කරන්න ඕනේ ?
ඩෙංගු test එක positive වෙන හැම කෙනෙක්වම රෝහලට ඇඩ්මිට් කරගෙන ප්‍රතිකාර දීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔයාගේ platelet count එක ගොඩක් අඩු නැත්නම්, ඔයාට තදබල අසනීප තත්ත්වයක් නැත්නම්, වෛද්‍ය උපදෙස් හරියට අනුගමනය කරමින් ඔයාට සනීප වෙනකන් ගෙදර ඉන්න පුළුවන්.
