බල්ලෙක්ට ජලභීතිකාව හැදිලද කියලා අඳුර ගන්නේ කොහොමද ?


ඔයාව සතෙක් හපා කෑවොත්, ජලභීතිකාව වළක්වා ගන්න කරන්න ඕනි ප්‍රථමාධාර ගැන සහ ජලභීතිකා එන්නත ගැන අපි කලින් ලිපියකදි කියලා දුන්නා. ඔයාව බල්ලෙක් හපා කෑවොත්, ඒ බල්ලව ගෙදර කූඩුවක දාලා හෝ බැඳලා තියාගන්න පුළුවන් නම්, දවස් 14ක් යනතුරු සතාව නිරීක්ෂණය කරන්න කියලා වෛද්‍ය උපදෙස් ලැබෙනවා. සතාට ජලභීතිකා රෝග ලක්ෂණ ඇතිවුණොත් හරි, සතා පැනලා ගිහින් නැවත හොයාගන්න […]

ඔයාව සතෙක් හපා කෑවොත්, ජලභීතිකාව වළක්වා ගන්න කරන්න ඕනි ප්‍රථමාධාර ගැන සහ ජලභීතිකා එන්නත ගැන අපි කලින් ලිපියකදි කියලා දුන්නා.

ඔයාව බල්ලෙක් හපා කෑවොත්, ඒ බල්ලව ගෙදර කූඩුවක දාලා හෝ බැඳලා තියාගන්න පුළුවන් නම්, දවස් 14ක් යනතුරු සතාව නිරීක්ෂණය කරන්න කියලා වෛද්‍ය උපදෙස් ලැබෙනවා.

සතාට ජලභීතිකා රෝග ලක්ෂණ ඇතිවුණොත් හරි, සතා පැනලා ගිහින් නැවත හොයාගන්න බැරි වුණොත් හරි, සතා මරණයට පත්වුණොත් හරි, හැකි ඉක්මනින් රෝහලට ගිහින් වෛද්‍ය උපදෙස් ගන්න ඕනි.

බල්ලෙක්ට ජලභීතිකා රෝගය හැදුණොත් ඇතිවෙන රෝග ලක්ෂණ මොනවද ?

ජලභීතිකා රෝගයේ මුල්ම ලක්ෂණ විදියට,

සතා කෑම ගැනීම සහ වතුර බීම නැවැත්වීම, ඒ වගේම හැසිරීමේ වෙනසක් ඇතිවෙන්න පුළුවන්.

බල්ලන්ට හැදෙන ජලභීතිකා රෝගය, වර්ග දෙකකට බෙදන්න පුළුවන්.

ගොළු ජලභීතිකාව කියන වර්ගයේදී,

1. බල්ලා ආහාර ගැනීම නවත්තලා උගුරේ යමක් හිරවෙලා තියෙන විදියට හැසිරෙනවා.

2. කකුල් පණ නැති බවක් පෙන්වනවා.

3. අඳුරු තැන්වල හැංඟෙන්න උත්සාහ කරනවා.

වියරු ජලභීතිකාව කියන වර්ගයේදී,

1. බල්ලාගේ මුඛයෙන් සෙම ගලලා, ඇස් විශාල වෙලා රතු පාට වෙලා දිලිසෙනවා.

2. කූඩුවේ දැල්, ලී වගේ අසාමාන්‍ය දේවල් හපා කනවා

3. හමුවෙන හැම දෙනාවම හපා කන්න උත්සාහ කරනවා.

4. ආහාර ගැනීම නවත්වනවා.

මේ රෝග දෙකෙන්ම දවස් 14ක් ඇතුළත බල්ලා මිය යනවා.

ඔයාව හපා කාපු බල්ලාගේ මේ රෝග ලක්ෂණ ඇති වුණොත්, හැකි ඉක්මනින් රෝහලට දැනුම් දෙන්න.

ජලභීතිකාව කියන, හැදුනොත් මරණය නියත, මේ මාරාන්තික රෝගය, ශ්‍රී ලංකාව තුළ පැතිරෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ, බල්ලන්ගෙන් සිදුවන සපාකෑම්.

ජලභීතිකා රෝගය වළක්වාගන්න තියෙන ප්‍රධානම ක්‍රමය වෙන්නේ, බල්ලන්ට නිවැරදිව ජලභීතිකා එන්නත ලබාදීමයි.

බලු පැටවුන්ට සති 4-6 දී පළවෙනි මාත්‍රාවත්, මාස 3 දී දෙවන මාත්‍රාවත් ලබා දීලා, ඉන්පසු හැම අවුරුද්දකටම සැරයක්, ජලභීතිකා එන්නත් ලබාදිය යුතුයි.

ඔබ ඇතිකරන බල්ලා කාවහරි කෙනෙක්ව හපා කෑවොත්, ඒ කෙනා රෝහලට යද්දී වෛද්‍යවරයාට පෙන්වන්න, ඔබේ බල්ලාට එන්නත් ලබා දුන්නු වාර්තා ඔබේ ළඟ ප්‍රවේශමෙන් තියාගත යුතුයි. ඔබේ බල්ලා කාව හෝ කපා කෑවොත්, එන්නත් වාර්තා ඉදිරිපත් කිරීම ඔබේ වගකීමක්.

ඒ වගේම පන්සල්, පාසල්, රෝහල් වගේ පොදු ස්ථාන වල ඉන්න, හරි අයිතිකාරයක් නැති බල්ලන්ට, ජලභීතිකා එන්නත් ලබාදෙන එක, ඒ බල්ලන්ට කන්න දීලා රැක බලාගන්න අයගේ වගකීමක්.

ඇති කරන්න බලු පැටවුන් ගන්නවා නම්, බලු පැටවුන්ගේ අම්මාට ජලභීතිකා එන්නත විදලා තියෙන බව තහවුරු කරගන්න.

නොදන්න තැනකින් බලු පැටවුන් අරගෙන ඇති කරන්න හිතනවා නම්, බලු පැටවුන්ට ජලභීතිකා එන්නත ලබාදීලා මාසයක්වත් යනකන්, ඔවුන්ව වෙන් කරලා තියන්න. මොකද මේ බලු පැටවුන් තුළත් ජල භීතිකා වෛරසය තියෙන්න පුළුවන්.

ඒ වගේම ඔයාට අවශ්‍ය නැහැයි කියලා තීරණය කරලා, අසරණ බලු පැටවුන් පොදු ස්ථානවල අත ඇරලා යන්න එපා.

ඒ වගේම බල්ලන්ගෙන් සිදුවන සපා කෑම් වළකවා ගන්න නම්,

ඔබ නොදන්න සතුන්ව හුරතල් කරන්න, කෑම දෙන්න යන්න එපා.

කෑම කන ගමන් ඉන්න හෝ, පැටවුන් සමග ඉන්න බල්ලන් ළඟට යන්න එපා.

බල්ලන් ඉන්න තැන් ගාවින් දුවන්නේ නැතුව, පුළුවන් තරම් එයාලව මඟ ඇරලා යන්න.

More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way
menu