ඩෙංගු හැදුණොත් හිතුමනාපෙට වේදනානාශක බොන්න එපා !


ඩෙංගු උණ හැදුණොත් ජීවිතය බේරගන්න, මේ පණිවිඩය හරිම වැදගත් ! උණ හැදුණු කෙනෙක්ව ගෙදර තියාගෙන, Aspirin, Brufen, Diclofenac, Mefenamic acid වගේ වේදනානාශක බෙහෙත් දුන්නොත්, ඒ කෙනාගේ ජීවිතය නැති වෙන්න පවා අවදානමක් තියෙනවා කියලා ඔයා දැනගෙන හිටියද ? උණ හැදුනම ඇඟේ පතේ අමාරුව සහ ඔලුව කැක්කුම අඩු වෙන්නත්, උණ අඩු වෙන්නත් කියලා, ගෙදර තියෙන NSAIDs කාණ්ඩයට […]

ඩෙංගු උණ හැදුණොත් ජීවිතය බේරගන්න, මේ පණිවිඩය හරිම වැදගත් !

උණ හැදුණු කෙනෙක්ව ගෙදර තියාගෙන, Aspirin, Brufen, Diclofenac, Mefenamic acid වගේ වේදනානාශක බෙහෙත් දුන්නොත්, ඒ කෙනාගේ ජීවිතය නැති වෙන්න පවා අවදානමක් තියෙනවා කියලා ඔයා දැනගෙන හිටියද ?

උණ හැදුනම ඇඟේ පතේ අමාරුව සහ ඔලුව කැක්කුම අඩු වෙන්නත්, උණ අඩු වෙන්නත් කියලා, ගෙදර තියෙන NSAIDs කාණ්ඩයට අයිති Aspirin, Brufen, Diclofenac, Mefenamic acid වගේ වේදනානාශක බෙහෙත් බොන්න ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා.

නමුත් ඔයාට හැදිලා තියෙන උණ, ඩෙංගු උණ නම්, ඔයා මේ බෙහෙත් ගත්තොත් ඩෙංගු රෝගය බරපතල තත්වයට පත්වෙන්න ඉඩ තියෙනවා.

අපි බලමු කොහොමද මෙහෙම වෙන්නේ කියලා.

ඩෙංගු මදුරුවා ඔයාට දෂ්ට කළාම, ඩෙංගු වෛරසය ඔයාගේ ඇඟට ඇතුළු වෙනවා.

මේ වෛරසයට පුළුවන්, ඔයාගේ ඇඟේ තියෙන platelets, ඒ කියන්නේ රුධිර පට්ටිකා කියන රුධිර සෛල ප්‍රමාණය අඩු කරන්න.

මේ platelets තමයි, අපේ ඇඟේ කොහේ හරි තැනක ලේ ගැලීමක් සිද්ධ වෙද්දි, ලේ කැටි ගස්වලා, ලේ ගැනීම නවත්වන්න මූලිකවම උදව් වෙන්නේ.

  • ඩෙංගු වලදී සමහරවිට රුධිරවාහිනීවලට හානි වෙලා ලේ ගලන නිසා, විදුරුමසින් ලේ ගැලීම, නහයෙන් ලේ ගැලීම, මුත්‍ර මලපහ සමග ලේ පිටවීම සිදුවෙන්න පුළුවන්.
  • ඒ වගේම හමේ රතුපාට පැල්ලම් ඇතිවීම මූණ රතුවීම වෙන්න පුළුවන්.

අපි මුලින් කියපු NSAIDs කාණ්ඩයේ වේදනානාශක බෙහෙත් , ඩෙංගු උණ තියෙන වෙලාවට ගත්තොත් ඇතිවන ගැටලුව තමයි,

මේ බෙහෙත් වලට පුළුවන් platelets වලින් රුධිරයේ කැටි ගැහෙන එක අඩු කරන්න.

මෙහෙම වුණාම ඩෙංගු වලදී සිදුවෙන ලේ ගැලීම් වැඩිවෙලා, රෝගය බරපතළ තත්ත්වයට පත්වෙලා, මරණය පවා සිදු වෙන්න අවදානමක් තියෙනවා.

මීට අමතරව ඩෙංගු රක්තපාත තත්ත්වයේ දී, රුධිරවාහිනී වල තියෙන ප්ලාස්මා තරලය, රුධිරවාහිනී වලින් එළියට leak වෙලා, Blood pressure එක අඩු වෙන්න පුළුවන්. මේ නිසා වකුගඩු වලට සැපයෙන රුධිර ප්‍රමාණය යම් මට්ටමකට අඩු වෙනවා.

NSAID වේදනානාශක බෙහෙත් වලින් වකුගඩු වලට රුධිරය යන එක තවත් අඩු කරවන නිසා, ඩෙංගු හැදුණු කෙනෙක් ඒ බෙහෙත් ගත්තොත්, Acute Kidney Injury කියන උග්‍ර වකුගඩු ආබාධය ඇතිවෙන්න පුළුවන්.

ඉතින් මේ නිසා උණ හැදුණු කෙනෙක්ට ගෙදර තියෙන NSAID කාණ්ඩයේ වේදනානාශක බෙහෙත් දෙන්න එපා.

විශේෂයෙන් මේ වැරැද්ද කරන්නේ, ගෙදර වෙන කෙනෙක්ගේ වේදනානාශක බෙහෙත් හරි, පරණ බෙහෙත් තුණ්ඩුවක් පෙන්නලා ෆාමසියෙන් ගන්න වේදනානාශක බෙහෙත්, තමන්ගෙ දරුවන්ට දෙන අම්මලා. මෙහෙම කළොත් දරුවන්ගේ ජීවිතය විශාල අනතුරක වැටෙනවා.

ඒ වගේම වෛද්‍ය උපදෙස්වලින් තොරව, උණ තියෙන වෙලාවට steroid කාණ්ඩයට අයිති prednisolone, dexamethasone වගේ බෙහෙත් ලබා ගැනීමත් සුදුසු නැහැ. මොකද මේ බෙහෙත් වලින් ආහාර මාර්ගයේ තුවාල සහ ලේ ගැලීම් ඇතිවෙන්න පුළුවන්.

උණ හැදුණොත් කරන්න ඕනි මොනවාද ?

ඉතින් මේ දවස්වල ඔයාට උණ හැදුණොත්, හොඳින් විවේක අරගෙන, උණ වේදනාවට නියමිත මාත්‍රාවෙන් පැරසිටමෝල් පමණක් භාවිතා කරන්න. ඩෙංගු හොඳ කරන්න කියලා විශේෂිත බෙහෙතක් නෑ. ඩෙංගු හැදුණොත් ඔබ කළයුතු ප්‍රධානම දේ වෙන්නේ, වෛද්‍ය උපදෙස් අනුව නියමිත ප්‍රමාණවලින් නියමිත වෙලාවට දියර වර්ග බොන එකයි.

උණ දවස් දෙකකට වඩා තියෙනවා නම්, අනිවාර්යයෙන් වෛද්‍ය ප්‍රතිකාර ගන්න. ඒ වගේම ඔයාට Full Blood Count එකක් හරි, Dengue NS1 antigen test එකක් හරි කරන්න නියම කළොත්, උණ අඩුවුණා වුණත්, ඒ පරීක්ෂණ කරලා වෛද්‍ය උපදෙස් ගන්න අමතක කරන්න එපා.

More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
menu